නිහඬ යම නිහඬ බව
බිඳින නුඹෙ සුසුම් සර
හෙමි හෙමින් දෙකොපුලේ
දැවටුණා හොරෙන් මට
නෙතට නෙත හමුවුණා
ඇගිලි තුඩු දැවටුණා
ලොවක තුටු කඳුලු මැද
අපට අප හිමි වුණා
-යශෝධා අධිකාරි-
නිහඬ යම නිහඬ බව
බිඳින නුඹෙ සුසුම් සර
හෙමි හෙමින් දෙකොපුලේ
දැවටුණා හොරෙන් මට
නෙතට නෙත හමුවුණා
ඇගිලි තුඩු දැවටුණා
ලොවක තුටු කඳුලු මැද
අපට අප හිමි වුණා
-යශෝධා අධිකාරි-
සුර ලිය නෙත් අග කැල්මන් විදහා
හෙමිහිට හොරැහින් ඉඟි බිඟි දුන්නා
කවියක් වාගේ හිත සනසවනා
ඇය මගෙ ලෝකේ සුරඟන වුවා
සිහින් සුමුදු අතැගිලි දවටාගෙන
හීන කතා සවනට මුමුණයි ඈ
ආදර හැඟුමින් හිත පුරවාගෙන
උණුහුම් පපුවේ ගැස්ම විදියි ඈ
දිලිසෙන නෙත් යුග විදහා මා වෙත
පාන සිනාවට වසග වෙලා මම
අද මෙන් ඉන්නම් නොවෙනස් ප්‍රේමෙක
මියෙනා තුරු ඇය මේ තුරුලට ගෙන
-යශෝධා අධිකාරි-
හිතේ නුඹ ගැන කියන්නට බැරි හැඟීමක් පිපෙමින් තියෙයි
අගේ නොකරම එය කියන්නට මගෙ දෙතොල් බියකින් සැලෙයි
හිනා මල් ටික නෙලා ගන්නට මගේ හිත මට බල කරයි
කීවොතින් නුඹ අහිමි වෙයිදෝ කියා මට හරියට බයයි
සිත පුරාවට සුවද විහිදන මල් හිනා හරි සුන්දරයි
කවි කතාවට බොලඳ තාලෙට මගේ නෙත් හොරැහින් බැඳෙයි
නුඹේ ඇස් වල ප්‍රේම බැල්මට හිත මගේ ඉද හිට සැලෙයි
නුඹේ ඔය සුදු වත මගේමයි හැඟේ මම හරි ආදරෙයි
-යශෝධා අධිකාරි-
ආයෙත් ආයෙත් දකිනා ඔය දෙනුවන් දෙනෙතට කඳුළැල් දෙනවා
කීවත් ආයෙත් නොඑනා බව හිත නුඹවම අයදිනවා
හීනෙන් වාගේ ගෙවුනු අතීතෙක මම තව ළතැවෙනවා
ඔබ වෙනුවෙන් මේ හිත හැමදාමත් මියෙමින් ඉපදෙනවා
දෝරෙ ගලන කඳුළැල් දැක නුඹ හොරැහින් මට හිනැහේදෝ
කලක් පුරාවට පෙම් කළ ඒ හිත හඬවා සැනසේදෝ
දෙපා අයැද පෙම අයදින මේ දුක නුඹහට නොපෙනේදෝ
සදා ඔබට පෙම් කළ මා ගැන ඔය හිත නොම උණු වේදෝ
සමාව දෙමි ඔබ කළ හැම වරදට මේ හිත හඬවාලා
කඳුළු පිසින්නට ආයෙම ආවොත් මා ඔබගෙම වෙනවා
නාවත් කිසිදා මා වෙනුවෙන් යළි කළ පව වැටහීලා
අපි අපේම වුණු හීනේක මම හැමදාටම තනි වෙනවා
-යශෝධා අධිකාරි-
නුරා දෙනෙත් අග හොරැහින් පෙම රන්ඳා
නුඹේ සිනහ මල් ඉදහිට ඉඟි දුන්නා
මගේ හිතට හෙමිහිට එබිකම් කරලා
හිතේ ඇඳුනු සිතුවම සායම් කෙරුවා
මවා හීන හිත තුළ නුඹ අපි ගැනම
කීව කතා රැය එළිවන තුරාවට
මගේ සිනා වෙනුවෙන් දුක දරාගෙන
කලක් පුරා නුඹ සිටියා බලාගෙන
නුඹට විටින් විට දොස් දුන්නත් නපුරූ
හිතින් මමත් නොමදව හෙළුවා කදුළූ
අතැර නොයා නොසැලී මා ලග රැදුණූ
නුඹේ නමට පුද දෙමි අද හිත බැදුනූ
-යශෝධා අධිකාරි-
විසිරුණු සිතුවිලි මුව රැඳි හසරැලි
නෙත් අග සිරවුණු උණුසුම් කඳුලැලි
මගෙ පපුතුර මැද ඔබ හෙමිහිට විඳි
හැඟුමන් මතකද පෙර දා අප බැඳි
සුළැඟිලි පටලන් තුරුලට සිර වී
ඇස් වල බැල්මට ඉඳහිට ගොළු වී
නුඹෙ සුසුමන් මගෙ වත මත සුව දී
පැවසූ රහසට මම පෙම් බැන්ඳී
කෙතරම් දුක් මැද සිටිය ද ලං වී
දින සති ගෙවුනත් නෑ අපි වෙන් වී
ගෙන යමි ඔබ ගෙල දම් හත පැලඳී
නොබිදෙන පෙම භව හතකට පුද දී
-යශෝධා අධිකාරි-
මොහොතින් මොහොතට නුඹ ගැන මතකය හිත තුළ තෙරපෙනවා
වදනින් වදනට අරුතක් නොම වුණු කවි වැල් ලියැවෙනවා
මුලු ලොව නිදනා තුන් යම මා සිත නොනිදා ගතවෙනවා
නුඹගෙන් තොර තව දවසක් ගැන සිත හිතමින් ලතැවෙනවා
හසරැලි ගැවසුන අතීත මතකය දින දින සැඟවෙනවා
ඔබ හා මැව් ඒ හීන කතන්දර මතකෙන් වියැකෙනවා
පුද දුන් ප්‍රේමය වියැකුණු බව දැන කඳුලු ගලා එනවා
ඔබේ මගේ පෙම ඇදි සිතුවම් වල සායම් බොඳවෙනවා
-යශෝධා අධිකාරි-
නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා
ඇයිද මම පෙම් කළේ නුඹ හට කියා මගෙ හිත අහනවා
දෙන්න පිළිතුරු නැතුව මගෙ මුව තවත් ගොළු වී ඉන්නවා
සසර ගමනේ පව් මකන්නට නුඹයි ආවේ සිතෙනවා
දුන්න දිව්රුම් බින්ද හින්දා පව් පිරෙන්නේ නුඹටමයි
වින්ඳ දුක් මම දිනක මතු දා විඳින්නට වෙයි සත්තමයි
සින්ද හදවත් මගෙ වගේ වෙන වස් තියනවා
ඇත්තමයි
දිනක නුඹ හට ඉතිරි වෙන්නේ සතුට නොව දුක විතරමයි
සත්‍ය පෙමකට තුන් හිතින්වත් වස් තියන්නට බැහැ තමයි
දුන්නු පෙම නුඹ දුන්නු ගින්නට ඇවිලිලා අලු වූ වගයි
ඉතිරි වී නැත හිතේ ඇල්මක් නුඹෙ නමින් වස් විතරමයි
හිතක් රිදවා සතුටු වුනු නුඹ හඬන දින හසරැලි මටයි
-යශෝධා අධිකාරි
ඔබත් මමත් පෙරුමන් පුරවා දුටු සිහින කතා සුනු විසුනු වුණාවේ
අපේ හැඟුම් මල් සුවඳ දවාගෙන ගොම්මන් අදුරේ පරව ගියාවේ
නුඹේ කඳුලු දුටු මේ නෙත් යුග යළි වෙනකෙකුගේ හසරැල් නොවුනාවේ
මගේ නමින් වෙන් වූ නුඹෙ හදවත මට විතරක් තව පෙම් කෙරුවාවේ
අපරිමිත පෙම වටහගනු බැරි ලොවක් අභිමුව නැවතිලා
කුමට සඟවන් සිටිනු අප හිත් දෙලොව අතරම සිරවෙලා
ගියත් දිවුරා නැවත නොඑනා බවට යළි අප සිහිවෙලා
නුඹත් මම මෙන් විදවනා බැව් දනිමි අප දිවි ඇති තුරා
-යශෝධා අධිකාරි-
තනිව ගෙවනා තුන් යමක්
දෙතැන හඬනා හිත් දෙකක්
සැබෑ නොවෙනා එකම හීනෙක
සිලිලි සැලු ගොළු ගීතයක්
ළපලු තුරු ලිය සිසිල් දිය මත
ගොතන සෙවණැලි රටා මතකය
ඇගේ සුරතේ සිහින් ඉරි මත
ඇඟිලි තුඩු දැවටුනා මතකය
සුරත් පැටලුනු අතීතෙක හිඳ
සිහින් වැලි මත තැබූ සළකුණු
සුළං සර මැද රැල්ල සිඹගෙන
ගියා අද මෙන් තාම මතකය
-යශෝධා අධිකාරි-
10.අත්වැල් පැටලුණු මතක වළාවන් හිතේ වියන් බැද තියේවී
ආදරයෙන් හිස සිඹගත් දිනයන් මතකෙන් අමතක නොවේවී
වෙරළ මායිමේ කඳුලු හැලූ හැටි අදටත් ඇස් බොඳ කරාවී
ඔබේ මගේ පෙම් කතාව හිත තුළ ඉඳහිට සක්මන් කරාවී
ආ මග වැරදුණු බව තේරෙන විට ආ දුර වැඩි බව මට හැගුණා
ඒ සිතුවිලි හිත තුළටම තෙරපා අපේ හීන තව තව දුටුවා
නෙතේ කඳුලු වැල් වදනට පෙරලා ගන්නට නොහැකිව අපි හැඬුවා
ඔබෙයි මගෙයි ආදරයට අරුතක් දෙන්නට බැරි බැව් හිත කීවා
ආදර ගීයක නැවතුම දුටුවත් සිතුවිලි වල නැවතුමක් නැතී
ගතින් දුරස් වුණු යුවලක් විලසින් උන්නත් ප්‍රේමය නිමා නොවී
ඔබත් මමත් අද දෙමංසලක හිද අතීතයට පිය නගනු ඇතී
ආදරයේ දෙව් රුව ඔබ වේ ඔබ තුළ මා තවමත් වෙමි පතිනී
-යශෝධා අධිකාරි-
නෙතට නෙත හමු වුණා නෙත් අගින් ඉඟි කළා
නෙත් වසන ඇසිල්ලෙන් හිත් හුඟක් දුර ගියා
උණුසුමට ලං වුණා ගතින් ගත සැනහුනා
නෙත් අරින ඇසිල්ලෙන් ඔහු හුඟක් දුර ගියා
නෙත් අගින් කඳුලු වැල් නොනැවතී වැගිරුනා
මුලා වූ හිතේ ගිනි බුර බුරා ඇවිලුණා
පරම පෙම පර වුණා ශ්වේත ධජ එසවුනා
අසම්මත ප්‍රේමයත් ඇය සමග වැළලුණා
-යශෝධා අධිකාරි-
ලොවට හොරෙන් ඔබටත් හොරෙන්ම මම මේ හිත පිදුවා ඔහුගේ නාමෙට
මටවත් නොදැනිම ටික ටික ලියලුණු කුළුදුල් ආලය ඇත අඩමානෙට
ඔහුත් ඔබත් එක ලෝකෙක සිටියත් මක් කරම්ද මගෙ තහනම් ප්‍රේමෙට
ඔබගෙන් උදුරා ගමි මම ඔහු අද සමාවෙන්න මිතුරිය මගෙ වරදට
ආදරයේ අර්ථය විමසන්නට ඔබ ඔහු එක මග පිය මැන්නා
එනමුදු ඔහු හිමි ඔබ හට නොව මට නිසාම ඔහු මා එක් වූවා
වරද ඔබේ නොව වරද අපේ නොව කාලය එය විසදුව හින්දා
නිහඬව ඔබ දුක වාවා ගනු මැන ඔහුගේ හද හිමි මටම නිසා
ඔහු මට පෙර ඔබ හට හමු වූ වග නැවත නැවත මට කියනු එපා
දෙහදක ප්‍රේමය මා බිඳලූ බව පවසා මා හඬවන්න එපා
ඔහු ඔබගෙන් ලද ආදර සැමරුම් අතීතයට මුසු කරපු නිසා
නුඹෙ කඳුලට ඉඩ දී යන්නම් ඔහු මා කැන්ඳාගෙන යන හින්දා
-යශෝධා අධිකාරි-
හිතක් පිරෙනා තරම් පෙම් වදන් පුරෝගෙන
ගතම කිතිකවාලන පෙම් සිනා අයාගෙන
සසරෙ ආවා වගේ පසු පසම හඹාගෙන
එන්නෙ කවදාද නුඹ මගේ පෙම පතාගෙන
සසල සිත නිවාලන හැඟුම් මල් පූදුවන
හිරිවැටුණ ඇගිලි තුඩු ආදරෙන් පිරිමදින
කඳුලු පිස දා මගේ සෙමින් නළලත සිඹින
නුඹ එන්නෙ කවදාද ඉදිමි මම බලාගෙන
-යශෝධා අධිකාරි-
අපෙ වගේ ප්‍රේමයක් ලොවේ අන් තැනක නෑ නුඹෙන් තොර ලෝකයක් යළිත් මම දකින් නෑ
හිනා වෙන ඇස් වලට කඳුළු නම් දෙන්නෙ නෑ ආදරේ නාමයෙන් නුඹෙන් වෙන් වෙන්නෙ නෑ
වචනයෙන් කියන්නට වචන ගලපන්න බෑ
ඒ තරම් වටින නුඹ අහිමි කරගන්නෙ නෑ
මගේ පණ වගෙයි නුඹ කාටවත් දෙන්නෙ නෑ
ආදරෙයි මියෙන කල් ඒ ඇයිද දන්නෙ නෑ
-යශෝධා අධිකාරි-
මුවග තැවරුණු කතා හැඟුම් දෙන මල් හිනා
ඇගේ දැහැනෙන් මුදා හිතම හොරකම් කළා
මා ඇගේමයි කියූ අතීතය බොඳ වුණා
නුඹෙන් තොර ලොවක් මට ඉබේ අමතක වුණා
නුඹෙ සතුට ගැන සිතා මගෙ සතුට කැපකළා
නුඹේ මල් හිනා මගෙ ලොවට මල් වැස්සුවා
හදවතේ ආදරේ නුඹෙ නමට වෙන් කළා
දිනෙන් දින නුඹ හොරෙන් දුක හිතට ලන් කළා
පළමු පෙම සිහි කරන් මගේ හිත රිද්දලා
මගේ පිවිතුරු හැඟුම් ඔහු සමග සැසඳුවා
පැතුම් හැම බිඳ දමා කඳුලු කවි ලියැවුනා
මගේ ලොව නුඹයි කියු අතීතය මියැදුනා
නුඹේ ඇස් බොඳකරන් කඳුලු කැට ගිලිහුනා
ඉකිබිඳින තාලයට මගෙ හිතත් වැළපුනා
හැරයන්න තරම් මගෙ හිත හුගක් රුදු වුනා
නුඹෙ ලොවේ සතුට ගැන හිතා මම ගොළු වුනා
මගෙ නමට වස් තියා හෙමි හෙමින් මිමිණුවා
මගේ හිත ගැන නොදැන දොස් මටම පැවරුවා
සරසවිය ගැන නුඹේ හීන මල් ඵල වෙලා
මගෙ සතුටු කඳුලු මැද නුඹ හුඟක් හිනැහුනා
-යශෝධා අධිකාරිි-
සෙනෙහස් ගංඟා නැවතුනු මොහොතක කඳුලැල් මල් පිබිදෙන්න ඇතී
උදේ දිවා රෑ ඇස් දල්වාගෙන මගෙ ඇස් යුග සනසන්න ඇතී
දුරින් රැදුන මුත් සැමදා ලග ඉන්නම් සත්තයි මම කියන්නැතී
අපි වෙන්වූයේ අපෙ වරදින් නොව මගෙ පව් මට පල දෙන්න ඇතී
නොදනිමි මා නුඹ වෙන් වූ මොහොතක් මින් පෙර අප අත් භව වලදී
එනමුදු ඔබ මා හැරගිය වග නම් දන්නෙමි මේ අත් භවයේදී
වැරදි කළේ ආදරේ නමින් දැනගනීවි ඔබ මතු දිනයකදී
ඒත් මටයි මගෙ පව් වලටයි දෙන්නට ඔබ කළ පින් වේවි මදී
කළෙමි තවත් කිසිවෙක් ඔබහට නොදෙනා තරමට ආදරය නිතී
නොකළෙමි කඩ කිසිදින ඔබ පැතු හැම පැතුමන් පණ මෙන් අඩු නොමැතී
නොදැනුනි කල් යන විට ඔබ තුළ මට හිමි ප්‍රේමය බව ශේෂ නැතී
මගෙන් වු වරදක් දැයි නැතිනම් පින් මදිවද මට මා දන්නෙ නැතී
-යශෝධා අධිකාරි-
අවසනක් පැතු ඇරඹුමක් නුඹ
අවසනෙහි තුටු කඳුලු නොපතන
කියන මතු මතු දිවුරනා මුව
ගොළු වුණා වස් දෙකක් ගිය තැන
තෙමෙන නෙත් යුග දෙපා පාමුල
කඳුලු සයුරක කිමිදෙනා රග
බලා හිනැහෙනු කිමද පෙම්වත
කඳුලු නවතනු බැරිද නෙතු අග
මුවින් දිවුරූ වදන් බොරුමද
පණ වගෙයි කියු කියුම් වැරදිද
අරුත් සුන් වුණු මතකයන්මද
ඉතිරි වන්නේ මියෙන තුරු මට
අනිත්‍යයි කියු හැඟුම් අභිමුව
මගේ ප්‍රේමය අනිත්‍යක් නොව
සදා නොවෙනස් සිතක් නතු කර
පෙමක් නැති ලොව වසනු කුමටද
-යශෝධා අධිකාරි-
කවි ලියන ඇඟිලි තුඩු සියුම් සම මත අඳින
බලි කුරුටු මියන කල් සුෂුම්නාවෙන් මිදෙනකන්
ආදරෙයි ඔහු ආදරෙයි
ඇවිද ගිය දුර ගෙවා නැවත ආපසු ඇවිත්
රසය පුන පුනා විද වාශ්පත් හිඳෙන තෙක්
ආදරෙයි ඔහු ආදරෙයි
හදවතේ ආදරය ගතින් නොව සිතින් බව
කියා වද කරනකන් ප්‍රතික්ෂේපම කරනකන්
ආදරෙයි ඔහු ආදරෙයි
හීන දුන් කඩුපුලට සිහින් පිනි වැටෙනකන්
චන්න එලියට දිලෙනකන් සුවඳ හුරු බව දැනෙනකන්
ආදරෙයි ඔහු ආදරෙයි
සුවද සෙපාලිකා මල් මත ඉර උදාවට සුවඳ මියෙනා
බවක් දැනගන්න තෙක් දුන්න දිවුරුම් බිදෙනකන්
ආදරෙයි ඔහු ආදරෙයි
කවි ලියන ඇගිලි තුඩු ගෙවෙනකන් හිත පිරිමදිනකන්
නුඹේ වචනයට පෙම් බැඳි හිත නුඹට වස් තියනකන්
ආදරෙයි මම ආදරෙයි
-යශෝධා අධිකාරි-
ලවන් හස තෙපුල් පෙම් වසත් සම නිමා විය
හිතක් බර ආදරය නෙතට බර කදුලු විය
ඇතත් මට නැතත් නුඹ, නුඹට හිමි ආදරය
තියන් හිත හෙටත් මම ඉදිමි වාවන් තනිය
මටම නුඹ අයිති නැති දිනක් එයි මතු කලෙක
එතෙක් ඉවසලමි දුක කඳුලු වත්කර විටෙක
නුඹ පැතුම් දරන් යන දිනට ඇය ගෙන දුරක
මළ වතින් යමි ලැගුම් සොයා පෙම නැති ලොවක
-යශෝධා අධිකාරි-