නිහඬ යම නිහඬ බව
බිඳින නුඹෙ සුසුම් සර
හෙමි හෙමින් දෙකොපුලේ
දැවටුණා හොරෙන් මට
නෙතට නෙත හමුවුණා
ඇගිලි තුඩු දැවටුණා
ලොවක තුටු කඳුලු මැද
අපට අප හිමි වුණා
-යශෝධා අධිකාරි-
නිහඬ යම නිහඬ බව
බිඳින නුඹෙ සුසුම් සර
හෙමි හෙමින් දෙකොපුලේ
දැවටුණා හොරෙන් මට
නෙතට නෙත හමුවුණා
ඇගිලි තුඩු දැවටුණා
ලොවක තුටු කඳුලු මැද
අපට අප හිමි වුණා
-යශෝධා අධිකාරි-
සුර ලිය නෙත් අග කැල්මන් විදහා
හෙමිහිට හොරැහින් ඉඟි බිඟි දුන්නා
කවියක් වාගේ හිත සනසවනා
ඇය මගෙ ලෝකේ සුරඟන වුවා
සිහින් සුමුදු අතැගිලි දවටාගෙන
හීන කතා සවනට මුමුණයි ඈ
ආදර හැඟුමින් හිත පුරවාගෙන
උණුහුම් පපුවේ ගැස්ම විදියි ඈ
දිලිසෙන නෙත් යුග විදහා මා වෙත
පාන සිනාවට වසග වෙලා මම
අද මෙන් ඉන්නම් නොවෙනස් ප්‍රේමෙක
මියෙනා තුරු ඇය මේ තුරුලට ගෙන
-යශෝධා අධිකාරි-
හිතේ නුඹ ගැන කියන්නට බැරි හැඟීමක් පිපෙමින් තියෙයි
අගේ නොකරම එය කියන්නට මගෙ දෙතොල් බියකින් සැලෙයි
හිනා මල් ටික නෙලා ගන්නට මගේ හිත මට බල කරයි
කීවොතින් නුඹ අහිමි වෙයිදෝ කියා මට හරියට බයයි
සිත පුරාවට සුවද විහිදන මල් හිනා හරි සුන්දරයි
කවි කතාවට බොලඳ තාලෙට මගේ නෙත් හොරැහින් බැඳෙයි
නුඹේ ඇස් වල ප්‍රේම බැල්මට හිත මගේ ඉද හිට සැලෙයි
නුඹේ ඔය සුදු වත මගේමයි හැඟේ මම හරි ආදරෙයි
-යශෝධා අධිකාරි-
ආයෙත් ආයෙත් දකිනා ඔය දෙනුවන් දෙනෙතට කඳුළැල් දෙනවා
කීවත් ආයෙත් නොඑනා බව හිත නුඹවම අයදිනවා
හීනෙන් වාගේ ගෙවුනු අතීතෙක මම තව ළතැවෙනවා
ඔබ වෙනුවෙන් මේ හිත හැමදාමත් මියෙමින් ඉපදෙනවා
දෝරෙ ගලන කඳුළැල් දැක නුඹ හොරැහින් මට හිනැහේදෝ
කලක් පුරාවට පෙම් කළ ඒ හිත හඬවා සැනසේදෝ
දෙපා අයැද පෙම අයදින මේ දුක නුඹහට නොපෙනේදෝ
සදා ඔබට පෙම් කළ මා ගැන ඔය හිත නොම උණු වේදෝ
සමාව දෙමි ඔබ කළ හැම වරදට මේ හිත හඬවාලා
කඳුළු පිසින්නට ආයෙම ආවොත් මා ඔබගෙම වෙනවා
නාවත් කිසිදා මා වෙනුවෙන් යළි කළ පව වැටහීලා
අපි අපේම වුණු හීනේක මම හැමදාටම තනි වෙනවා
-යශෝධා අධිකාරි-
නුරා දෙනෙත් අග හොරැහින් පෙම රන්ඳා
නුඹේ සිනහ මල් ඉදහිට ඉඟි දුන්නා
මගේ හිතට හෙමිහිට එබිකම් කරලා
හිතේ ඇඳුනු සිතුවම සායම් කෙරුවා
මවා හීන හිත තුළ නුඹ අපි ගැනම
කීව කතා රැය එළිවන තුරාවට
මගේ සිනා වෙනුවෙන් දුක දරාගෙන
කලක් පුරා නුඹ සිටියා බලාගෙන
නුඹට විටින් විට දොස් දුන්නත් නපුරූ
හිතින් මමත් නොමදව හෙළුවා කදුළූ
අතැර නොයා නොසැලී මා ලග රැදුණූ
නුඹේ නමට පුද දෙමි අද හිත බැදුනූ
-යශෝධා අධිකාරි-
විසිරුණු සිතුවිලි මුව රැඳි හසරැලි
නෙත් අග සිරවුණු උණුසුම් කඳුලැලි
මගෙ පපුතුර මැද ඔබ හෙමිහිට විඳි
හැඟුමන් මතකද පෙර දා අප බැඳි
සුළැඟිලි පටලන් තුරුලට සිර වී
ඇස් වල බැල්මට ඉඳහිට ගොළු වී
නුඹෙ සුසුමන් මගෙ වත මත සුව දී
පැවසූ රහසට මම පෙම් බැන්ඳී
කෙතරම් දුක් මැද සිටිය ද ලං වී
දින සති ගෙවුනත් නෑ අපි වෙන් වී
ගෙන යමි ඔබ ගෙල දම් හත පැලඳී
නොබිදෙන පෙම භව හතකට පුද දී
-යශෝධා අධිකාරි-
මොහොතින් මොහොතට නුඹ ගැන මතකය හිත තුළ තෙරපෙනවා
වදනින් වදනට අරුතක් නොම වුණු කවි වැල් ලියැවෙනවා
මුලු ලොව නිදනා තුන් යම මා සිත නොනිදා ගතවෙනවා
නුඹගෙන් තොර තව දවසක් ගැන සිත හිතමින් ලතැවෙනවා
හසරැලි ගැවසුන අතීත මතකය දින දින සැඟවෙනවා
ඔබ හා මැව් ඒ හීන කතන්දර මතකෙන් වියැකෙනවා
පුද දුන් ප්‍රේමය වියැකුණු බව දැන කඳුලු ගලා එනවා
ඔබේ මගේ පෙම ඇදි සිතුවම් වල සායම් බොඳවෙනවා
-යශෝධා අධිකාරි-